අපි පසුගිය වැඩසටහන් වලින් කතා කළා මහාවංශයට අනුව සිදත බෝසතාණන්ගේ බුද්ධත්වය හා සත් සතියට අදාළ කාරණාත් ඒ වගේම ප්‍රථම ධර්ම දේශනයට අදාළ කාරණාත් සම්බන්ධව.
අද අපි කතා කරන්න යන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලක්දිව වැඩමවීමට අදාළව මහාවංශයේ සඳහන් කරලා තියෙන කාරණා සම්බන්ධව. මෙහිදී ඔබට මුලින්ම සඳහන් කරන්න ඕනේ. මහාවංශයේ සඳහන්ව ඇති ලංකාදීපය කියලා කියන්නේ අද අපි වාසය කරන ශ්‍රී ලංකාව කියලා හඳුන්වන සම්පූර්ණ භූමියම නෙමෙයි කියන කාරණය. ලංකාදීපය ඒ වගේම ලක්දිව, එහෙම නැත්නම් ලංකා රාජ්‍යය කියලා හඳුන්වලා තියෙන්නේ එකල දඹදිව රාජ්‍ය සීමාවට අයිති නොවුණු මෙරට පිහිටි තවත් ප්‍රදේශයක්. ඒ බව මහාවංශයේ සඳහන්ව ඇති ලංකාද්වීපයේ මායිම් ප්‍රදේශ අධ්‍යනයෙන් අපිට වටහා ගන්න පුළුවන්.
ලංකාද්වීපයේ මායිම් සම්බන්ධව විස්තරයක් මහාවංශය මුල් කෘතිය ආධාරයෙන් දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියන් විසින් සංස්කරණය කරලා සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මහාවංශය නමැති ග්‍රන්ථයේ පහළොස්වන පරිච්ඡේදයේ හැට නමය සහ හැත්තෑව යන පිටුවල දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා. ඒ අනුව සලකුණු කළ ලංකාදීපය මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්.
ලංකාද්වීපයේ මෙම පිහිටීම මීට ආසන්න වන ලෙස මේ වන විටත් ක්ලෙප්පේ අරියමග්ග හිමියන් සහ රත්ගම ධම්මගවේශී හිමියන් විසින් සඳහන් කරලා තියෙනවා කියන කාරණයත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ.
බුදුන් වහන්සේ ප්‍රථම වරට වැඩම කරපු මහියංගනය පිහිටලා තියෙන්නේ ලංකාද්වීපයට අයත් වෙලා තිබුණු ප්‍රදේශයට. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළේ උරුවෙල කස්සප නම් වූ ජටිලයාගේ මහා යාගයකට සූදානම් වූ අවස්ථාවක දී බව මහාවංශය සඳහන් වෙලා තියෙනවා. කිරම විමලජෝති හිමියන් විසින් සංස්කරණය කරලා සිංහල භාෂාවට පරිවර්තනය කරපු මහාවංශය ග්‍රන්ථයේ පළමුවැනි පරිච්ඡේදයේ දෙවන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.
උරුවෙල් කසුප් නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හී ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. ඒ අනුව අපට පෙනී යනවා උරුවෙල් කාශ්‍යපගේ මහා යාගය පවත්වන කාලය තුළදී බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කරලා තියෙනවා කියන කාරණය. කිරම විමලජෝති හිමියන් විසින් සංස්කරණය කරලා සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මහාවංශය නමැති ග්‍රන්ථයේ පළමුවැනි පරිච්ඡේදයේ දෙවැනි පිටුවේ වැඩිදුරටත් මෙන්න මේ වගේ දැක්වෙනවා.
උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය තෙණවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා, තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක් හි ලංකාද්වීපය ශුද්ධ කරුණු පිණිස ලක්දිවට පැමිණි සේක. ඒ අනුව අපට පෙනී යනවා ඒ කාලේ මහියංගනයට ආසන්නයෙන්ම පිහිටි ජනාවාසය උතුරුකුරු දිවයින විය හැකි බව. එය අනවතප්ත විල ආසන්නයේ පිහිටා තිබී ඇති බවත් මේ අනුව අපට වැටහෙනවා. අපගේ අධ්‍යයනය අනුව අනවතප්ත විල පිහිටා තිබුණේ හෝටන් තැන්නේ බව තහවුරු වුණා. ඒ පිළිබඳව අප මීට කලින් වැඩසටහනක් හරහා ඔබව දැනුවත් කරලා තියෙනවා. අපි දැන් බලමු උතුරුකුරු දිවයිනේ පිහිටීම කොහොමද කියන කාරණය. මහාවංශයේ පාලි පිටපතෙහි මෙය සඳහන් වෙලා තියෙන්නේ උතුරුකුරු දිවයින ලෙස නෙමෙයි උත්තරකුරුව ලෙස.
මෙම උත්තරකුරුව පිහිටා ඇත්තේ මහාමේරු පර්වතය අසල බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ එන ආටානාටිය සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
8. යෙන උත්තරකුරු
රම‍්මා මහානෙරු සුදස‍්සනො. මනුස‍්සා තත්‍ථ ජායන‍්ති අමමා අපරිග‍්ගහා
සිංහල
පරිවර්තනය
:
8. යම් දිග්
භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්‍වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (වස්ත්‍රාදීන්හි) මමත්‍වය නැති, (‘මේ මා බිරිය යැ’ යි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයත් කැරැ ගැන්මක්) නැති
මිනිස්සු උපදිත්.
යෙන උත්තරකුරු රම්මා මහනේරු සුදස‍්සනො. එහි සිංහල පරිවර්තනය මම ඔබට සඳහන් කරන්නම්. යම් දිග් භාගයක ඉතා දැකුම් කළු මහාමේරු පර්වතය වෙයිද එහි සිත්කළු වූ උතුරුකුරුව වෙයි. මෙහි මහාමේරු පර්වතය ලෙස හඳුන්වලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සමනොළ කන්ද. ඒ අනුව මෙම උත්තරකුරුව පිහිටලා තිබිලා තියෙන්නේ සමනොළ කන්ද පාමුල බව අපට වටහා ගන්න පුළුවන්.
මේ සම්බන්ධව වෙනස් අදහසක් දරන ක්ලෙප්පේ අරියමග්ග හිමියන් පවසන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවුණේ මහියංගනයට නොව මහා එලි අංගනයට හෙවත් හෝර්ටන් තැන්නට බව. ඒ අනුව ප්‍රථම ලංකාගමනය සිහිවීමට ඉදිකළ චෛත්‍යයේ නටබුන් හෝර්ටන් තැන්න සමීපයේ පිහිටා තිබිය යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් අප කළ ගවේෂණයෙන් අපට තහවුරු වුණේ. හෝර්ටන් තැන්න ඒ කාලයේ හිමාලයට අයත් වූ ප්‍රදේශයක් බව. දඹදිව පිහිටලා තිබිලා තිබුණු හිමාලය කිසිදු ජනපදයකට හෝ රාජ්‍යයකට අයත්ව තිබිලා නැහැ. ලංකාද්වීපයේ මායිම් ලෙස මහාවංශයේ දක්වලා තියෙන්නේ අනෝතප්ත විල හෙවත් හෝර්ටන් තැන්නෙන් නැගෙනහිර සීමාවේ පිහිටලා තිබුණු සිංහතොටින් එහා ප්‍රදේශය. මේ ස්ථානය හිමාල අඩවියේ නැගෙනහිර කෙළවරේ පිහිටා තිබූ බව අපගේ අධ්‍යයනය තුළින් අපට වැටහුණා. ඒ අනුව හෝර්ටන් තැන්න පිහිටි භූමිය ලංකාද්වීපයට අයත් නොවන බව පැහැදිලි වෙනවා. බුදුන් වහන්සේ පිණ්ඩපාතය වැළඳීමෙන් පසුව ලංකාදීපයට වැඩම කළ බව මහාවංශයේ පැහැදිලිවම සඳහන් වන නිසා ක්ලෙප්පේ අරියමග්ග හිමිගේ අදහස පිළිගැනීමට අසීරු බව හැඟී යනවා.
මහියංගන චෛත්‍යය පිහිටි ස්ථානය සම්බන්ධව තවත් අදහසක් ඉදිරිපත් කරන නිදහස් ඉතිහාස ගවේෂකයෙකු වන දේශීය වෛද්‍ය කවිඳු කරුණාරත්න මහතා ප්‍රකාශ කරන්නේ නිවැරදි මහියංගන චෛත්‍ය යනු ලාහුගල පිහිටි නීලගිරි මහා සෑය බව. අපි ඒ සම්බන්ධවත් අධ්‍යයනයක් කළා. කිරම විමලජෝති ස්ථවිරයන් විසින් සංස්කරණය කරලා සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මහාවංශය නමැති ග්‍රන්ථයේ පළමුවැනි පරිච්ඡේදයේ තුන්වන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.
සමන්ත කූට පර්වතවාසී වූ මහා සුමන නම් දෙව්රජ තෙම පූජනීය වූ කිසිවක් ඉල්වීය. සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. සර්වඥයන් වහන්සේ වැඩහුන් තැන්හි කරන ලද්දා වූ ස්ථූපයකින් වසා නමස්කාර කළේය. ඒ අනුව සමන්ත කූට පර්වතය ආශ්‍රිතව වාසය කළ සුමන නම් වූ දෙවියා බුදුන් වහන්සේගේ කේශ ධාතු ලබාගෙන එම ස්ථානයේ චෛත්‍යයක් ඉදිකොට ඇති බව අපට වටහා ගන්න පුළුවන්.
මෙහි සඳහන් කරලා තියෙන සමන්ත කූටය කියලා කියන්නේ වර්තමාන රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි සමනල කන්දේ පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය බවත්, සුමන නම් දෙව්රජ යනු අප සැම දෙනාම බැතියෙන් පුදන සමනල කන්දට අධිපති සුමනසමන් දිව්‍යරාජයා බවත් ඔබට හිතෙන්නට පුළුවන්. මෙම ගවේෂණයට පෙර අපද සිතා සිටියේ ඒ ආකාරයටම තමයි. නමුත් මහාවංශයේ සඳහන් වෙන විදිහට තුන්වන වරට ලංකාදීපයට වැඩම කළ අවස්ථාවේ සමන්ත කූටයේ සටහන් කළ ශ්‍රීපාදය කියලා කියන්නේ වර්තමාන රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි සමනොළ කන්ද නොවන බව සඳහන් කරන්න ඕනේ. එය පිහිටිලා තියෙන්නේ එවකට ලංකාදීපයට අයත් වූ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ. එම ස්ථානයේ තිබෙන සුමන නම් වූ දෙවියා වාසය කළ ගල්ලෙන ද මේ වන විට හඳුනාගෙන තියෙනවා. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරි වැඩසටහනකින් ඔබ වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
මේ සම්බන්ධව විස්තරයක් ස්වාධීන ඉතිහාස ගවේෂකයෙකු වන අනුරාධ මැදවත්ත මහතා යථාර්ථ යූටියුබ් නාලිකාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි සමනොළ කන්දේ පිහිටුවා ඇති ශ්‍රී පාදය බුදුන් විසින් තබා ඇත්තේ පුණ්‍ය තෙරුන්ගේ ආරාධනාවෙන් සුනාපරාන්ත දේශයට වැඩම කළ අවස්ථාවේදීයි. ඒ සම්බන්ධව ඉදිරි වැඩසටහනකින් ඔබව දැනුවත් කරන්නම්. සුනාපරන්ත දේශයට වැඩම කළ අවස්ථාව සම්බන්ධව යථාර්ථ යූටියුබ් නාලිකාව පූජ්‍ය කඳුලොව වනරත්න හිමියන් සමග වැඩසටහන් කිහිපයක්ම පවත්වලා තියෙනවා. උනන්දුවක් තිබෙනවනම් ඔබටත් පුළුවන් එම වැඩසටහන් නරඹලා අවබෝධයක් ලබාගන්න.
ඒ අනුව ලංකාද්වීපයේ පිහිටි සමන්ත කූට පර්වතය හෙවත් කුඩුම්බිගල වාසය කළ සුමන නම් වූ දෙවියා බුදුන් වහන්සේ ප්‍රථම වරට ලංකාද්වීපයට වැඩම කළ ස්ථානයට පැමිණ ඇති බව වටහා ගන්න පුළුවන්. එසේ නම් බුදුන් වහන්සේ වැඩම කළ ස්ථානය කුඩුම්බිගල අවට ස්ථානයක් බවට අපට අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව ලංකාද්වීපයේ පිහිටි සමන්ත කූට පර්වතය හෙවත් කුඩුම්බිගල වාසය කළ සුමන නම් දෙවියා බුදුන් වහන්සේ ප්‍රථම වරට ලංකාදීපයට වැඩම කළ ස්ථානයට පැමිණ ඇති බව වැටහෙනවා. එසේ නම් බුදුන් වහන්සේ වැඩම කළ ස්ථානය කුඩුම්බිගල අවට ස්ථානයක් බව අනුමාන කරන්න පුළුවන්. කුඩුම්බිගල සිට ලාහුගල පිහිටි නීලගිරි සෑයට ඇති සෘජු දුර සැතපුම් දාහතරක්. දැනට අපි දන්නා මහියංගන චෛත්‍යය පිහිටි ස්ථානයට කුඩුම්බිගල සිට ඇති ඍජු දුර සැතපුම් හැට අටක්. ඒ අනුව කවිඳු කරුණාරත්න මහතාගේ යෝජනාව ද එකවර ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැටහෙනවා. එම ස්ථානය ද ලංකාදීපය තුළ පිහිටා ඇති බැවින් මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි.
ඒ අනුව මහියංගනය පිහිටි නිවැරදි ස්ථානය අප දැනට සම්මතයෙන් දන්නා මහියංගනය හෝ කවිඳු කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ස්ථානය හෝ විය හැකි බවත්, අන් මත ඉවත දැමිය හැකි බවත් ඔබට වැටහෙනු ඇති. අවසාන වශයෙන් සඳහන් කළ ස්ථාන දෙකෙන් වඩාත් නිවැරදි ස්ථානය කුමක්දැයි සනාථ කර ගැනීමට ඉවහල් වන පුරාවිද්‍යා හෝ ලිඛිත මූලාශ්‍ර සාක්ෂි ඔබ සතුව ඇත්නම් අපගේ විද්‍යුත් ලිපිනය හරහා එම සාක්ෂි අප වෙත ලබාදෙනමින් කාරුණිකව ඉල්ලා සිටිනවා.
කෙසේ හෝ මහියංගනයට වැඩම කළ බුදුන් වහන්සේ එහි රැස්ව සිටි යක්ඛ ප්‍රජාව බියට පත් කරලා එතනින් එලවා දැමූ බව කිරම විමලජෝති හිමියන් විසින් සංස්කරණය කරලා සිංහල භාෂාවට පරිවර්තනය කරපු මහාවංශය නමැති ග්‍රන්ථයේ පළමුවැනි පරිච්ඡේදයෙහි දෙවන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.
ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ද කාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. ලොව සියලු සත්වයෙන් කෙරෙහි අවිහිංසාවාදී වූ බුදුන් වහන්සේ මහාවංශයේ සඳහන් අන්දමට යක්ඛ දමනයේදී පමණක් යක්ඛ ප්‍රජාව කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියා කියලා හිතන්න අමාරුයි.
මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙන නිදහස් ඉතිහාස ගවේෂකයෙකු වන ප්‍රසාද් කුමාර මහත්මයා ප්‍රකාශ කරලා තිබුණා සාමාන්‍යයෙන් මහා යාගයක් පවත්වන්නේ විශේෂිත වූ දිනයක බවත්, ඒ අතුරින් සූර්යග්‍රහණයක් ඇතිවන දිනයක් සුවිශේෂී වන බවත්, ඒ අනුව උරුවෙල් කාශ්‍යප විසින් මෙම යාගය පැවැත්වීමට සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත දිනයක් යොදාගෙන ඇති බවත්. ඒ අනුව බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ අතරවාරයේ සූර්යග්‍රහණයක් සිද්ධ වී ඇති බව අපට අනුමාන කරන්න පුළුවන්. එම ස්වභාවික සංසිද්ධිය උපයෝගී කරගෙන යක්ඛ ප්‍රජාව දමනය කරන්නට ඇතැයි සිතීම ප්‍රායෝගිකයි. සූර්යග්‍රහණයක් ඇතිවෙන අවස්ථාවකදී එකවර අහස අඳුරුවීම සිදුවුණත් ඒ පිළිබඳව අත්දැකීමක් හෝ අවබෝධයක් නොමැතිව සිටි යක්ඛ ප්‍රජාව හට මෙම අවස්ථාව තේරුම් ගැනීමට නොහැකි වන්නට ඇතැයි කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙම කාරණය හේතුවාදීන්ගේ සංගමය මගින් පවත්වනු ලැබූ එක්තරා දේශනයකදීද නාසා ආයතනයෙන් ලබා ගත්ත දත්ත මූලික කොට ගෙන ඉදිරිපත් කොට ඇති බවත්, එහිදී බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ කාලය තුළ සූර්යග්‍රහණයක් සිදුවී ඇති බවට ගණනය කොට පෙන්වූ බවත් ප්‍රසාද් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබෙනවා.
මහාවංශය ඊළඟට සඳහන් වෙන්නේ බුදුන් වහන්සේ දෙවන වරට ලංකාදීපයට වැඩම කිරීම සම්බන්ධ වූ විස්තරයක්. අපි ඊළඟ කොටසින් ඒ ගැන කතා කරමු.



No comments:
Post a Comment