අද අපි කතා කරන්න යන්නේ කෝසල ජනපදයේ පිහිටා තිබූ සැවැත් නුවර හෙවත් ශ්‍රාවස්තිපුර සම්බන්ධව අප කළ ගවේෂණයෙන් ලබාගත් තොරතුරු සහ සැවැත් නුවර විශාඛා උපාසිකාව විසින් ඉදිකළ පූර්වාරාමය පිළිබඳව ගවේෂණයෙන් ලබාගත් තොරතුරු සම්බන්ධව. මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන්, පණ්ඩිත කිරිඇල්ලේ ඥාණ විමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ තුන්සිය තිස් හත්වන පිටුවේ ශ්‍රාවස්තිපුරය පිළිබඳව මෙන්න මේ වගේ සඳහනක් තියෙනවා.
කසී කොසොල් දෙරටින් නුවරට සතර දිගින් වදිනා අය කියලා. එහි සඳහන් වෙන්නේ කාසි සහ කෝසල කියන ජනපදවාසීන්ගෙන් සැවැත් නුවර නිතර පිරී පවතින බව. ඉන් තහවුරු වෙන්නේ සැවැත් නුවර පිහිටා තිබී ඇත්තේ කෝසල ජනපදයෙ වුණත් එය කාශි ජනපදයටත් නුදුරු ස්ථානයක පිහිටා තිබිය යුතුයි කියන කාරණය. කෝසල ජනපදය තුළ පිහිටියා යැයි මේ වන විට සහතික කරගෙන තියෙන වර්තමාන අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් දුම්රියපොළක්, බස් නැවතුම්පොළක්, පාසලක් සහ රෝහලක් වැනි වුණු සියලු මූලික පහසුකම් වලින් යුත් ශ්‍රාවස්තිපුර යනුවෙන් නගරයක් පවතිනවා.
මේ දැක්වෙන්නේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ ඡායාරූපයක්.
සාපේක්ෂ පිහිටීම අනුව මෙම ශ්‍රාවස්තිපුර එකල ශ්‍රාවස්ති නුවර ලෙස හැඳින්වූ ප්‍රදේශය බවට මූලික අනුමානයක් අපට ගොඩනගා ගන්න පුළුවන්. අනේපිඬු සිටුතුමා විසින් බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් සැවැත් නුවර ජේතවනාරාමය ඉදිකිරීමෙන් අනතුරුව එය පිළිගැනීමට රජගහ නුවර සිට සැවැත් නුවර බලා වඩින බුදුන් වහන්සේ හට අනේපිඬු සිටුතුමා විසින් අතර මග නවාතැන් පහසුකම් සැපයූ ආකාරය පූජාවලියේ දැක්වෙනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණ විමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ තුන්සිය තිස්හත්වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
ඒත් එක්කම වර්තමානයේ අනුරාධපුරයේ යැයි හඳුන්වන එකල ශ්‍රාවස්ති නුවරට අයත් වූ මෙම ප්‍රදේශය හැඳින්වීම සඳහා අතීතයේදී පූටභේදනය නම් වචනයක් සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ භාවිතා කර ඇති බව පුරාවිද්‍යා ගවේෂක මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉන් පැහැදිලි වෙනවා මෙම ප්‍රදේශය පුරාණයේදී වෙළෙන්දන්ගේ බඩු පොද ලිහන ස්ථානයක් ලෙස භාවිතා වී ඇති බව. ඒ බව සනාථ කෙරෙන සාධකයක් ත්‍රිපිටකයෙන් අපිට හම්බවෙනවා. නාග හෙළයට අයත් වූ පුණ්ණ නම් වෙළඳනායකයා තම වෙළඳාම් කටයුතු සඳහා සැවැත් නුවරට පැමිණි බවත්, එහිදී බුදුන් වහන්සේ හමුවූ බවත් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර අට්ටකථාහි මජ්ඣිම නිකාය අට්ටකතාවල පුණ්ණෝවාද සූත්‍ර වර්ණනා හි මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
සිංහල
පරිවර්තනය
:
එහි මේ පිළිවෙළ කථාවයි - සුනාපරන්ත
රටෙහි එක් වෙළඳ ගමක මේ සහෝදරයන් දෙදෙනා වූහ. ඔවුන්ගෙන් වැඩිමහලා කිසිකළෙක කරත්ත පන්සියයක් ගෙන ජනපදයට
ගොස් බඩු ගෙනෙයි. සමහර කලෙක බාලයා ද බඩු ගෙනෙයි. මේ කාලයෙහි බාලයා ගෙදර තබා වැඩිමහළු
සහෝදරයා ගැල් පන්සියය ගෙන ජනපද චාරිකාවෙහි හැසිරෙන්නේ පිළිවෙළින් සැවැත් නුවරට
පැමිණ දෙව්රමට
නුදුරෙහි ගැල් නවත්වා අනුභව කරන ලද උදෑසන බත්කිස ඇත්තේ පිරිවර ජනයා පිරිවරණ ලද්දේ
පහසු තැනක සිටියේය.
මෙහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය කොටස් පමණක් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. සුනාපරන්ත රටෙහි එක් වෙළඳගමක මේ සහෝදරයන් දෙදෙනා වූහ. වැඩිමහළු සහෝදරයා ගැල් පන්සියය ගෙන ජනපද චාරිකාවෙහි හැසිරෙන්නේ පිළිවෙලින් සැවැත් නුවරට පැමිණ. ඒ අනුව සැවැත් නුවර යනු වෙළෙන්ඳන් ගැවසුණු ප්‍රදේශයක් බව අපට වටහා ගන්න පුළුවන්.
වර්තමානයේ අනුරාධපුරය ලෙස හැඳින්වෙන එකල ශ්‍රාවස්ති නුවරට අයත් වූ මෙම ප්‍රදේශය ආශ්‍රිතව වැඩිපුරම පුරාවිද්‍යා කැණීම් ප්‍රමාණයක් සිදුකරලා තියෙන්නේ පුරාවිද්‍යා ගවේෂක ආචාර්ය ශිරාන් දැරණියගල මහත්මය විසින්. ඒ මහතා විසින් අනුරාධපුරයේ ඇතුළු නුවරට අයත් ප්‍රදේශයේ සිදුකරන ලද කැණීමකින් සොයාගත් බ්‍රාහ්මීය අක්ෂර සහිත වලං කැබැල්ල සහ එය පිහිටා තිබූ පාෂාණ ස්ථරය ක්‍රිස්තු පූර්ව නමවන සියවසට පමණ අයත් වේ යැයි කාබන් කාල නිර්ණය අනුව සනාථ කොට ගෙන තිබෙනවා. ඒ අනුව මෙහිදී හමුවූ පුරාවිද්‍යා සාධක බුදුන්ගේ සමයටත් වඩා සියවස් හතරක් පමණ පැරණි බව අපට වටා ගන්න පුළුවන්. අනුරාධපුර නගරයෙන් පිට තදාසන්න ප්‍රදේශවල සිදුකර ඇති කැණීම් වලින් ලැබෙන ප්‍රතිඵලවලින්ද එම ප්‍රදේශයේ පෞරාණිකත්වය ක්‍රිස්තු පූර්ව නව වන සියවස දක්වා විහිදේ යැයි පුරාවිද්‍යා ගවේෂක මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව වර්තමානයේ අනුරාධපුරය යැයි හඳුන්වන මෙම ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශයන් බුදුන් දවස වන විටත් ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව හයවන සියවස වන විටත් ජනාවාස වී තිබූ බව අපට පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.
මෙම ස්ථානය සල්පිලක් ලෙස වැඩිදියුණු වීම හරහා වෙළෙන්ඳන් රැස්වී තමන්ගේ වෙළඳ කටයුතු කරගෙන යන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය ආරම්භ වන්නට ඇතැයිද ඒ අනුව එම ප්‍රදේශයට රැස්වෙන වෙළෙන්ඳන් මෙන්ම ගැණුම්කරුවන් සඳහා පහසුකම් සහ සේවාවන් ආරම්භ වෙලා ක්‍රමයෙන් නගරයක් ලෙස නිර්මාණය වන්නට ඇතැයිද රාජ් සෝමදේව මහත්මයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔය කියන හැඳින්වීමත් සමග අපට වටහා ගන්න පුළුවන් කෝසල ජනපදයේ පිහිටා තිබූ සැවැත් නුවර කියලා කියන්නේ වර්තමානයේ ශ්‍රාවස්තිපුර ලෙස හඳුන්වන ප්‍රදේශය සහ අනුරාධපුර පැරණි නගරය පිහිටා තිබූ ප්‍රදේශය කියන කාරණාව.
ඊළඟට අපි සැවැත් නුවර පිහිටි පූර්වාරාමය පිළිබඳව සොයාගත් කාරණා විමසා බලමු. ත්‍රිපිටකයේ දීග නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
සිංහල
පරිවර්තනය
:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන්
වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද
නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්‍ෂුභාවය
(උපසපුව) පතන්නාහු භික්‍ෂූන් කෙරෙහි පිරිවෙසෙත්,
එකල්හි භාග්‍යවතුන්
වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස,
පහය ඉදිරියෙහි
සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම,
සවස් වේලෙහි
පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන්
වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා,
‘ඇවැත්නි,
භාරද්වාජයෙනි,
මේ භාග්‍යවතුන්
වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස,
පහය ඉදිරියෙහි
සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි,
භාරද්වාජයෙනි,
එමු. භාග්‍යවතුන්
වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්‍ම කථාවක් අසන්නට ලබන්නමෝ
නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඇවැත්නි’ යි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති
වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ,
සක්මන් කරන භාග්‍යවතුන්
වහන්සේ අනුව සක්මන් කළහ.
එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. සැවැත් නුවර මිගාරමාතු පාසාද නම් වූ පූර්වාරාමයෙහි. ඒ අනුව බුදුන් වහන්සේ වැඩසිටි බවට සැලකෙන පූර්වාරාම විහාරය පිහිටා තිබුණේ ශ්‍රාවස්තිපුර හෙවත් සැවැත් නුවර ආශ්‍රිත බව ඔබට වටහා ගන්න පුළුවන්.
සැවැත් නුවරට සාපේක්ෂව පූර්වාරාමයේ පිහිටීම පූජාවලිය දක්වලා තියෙනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ පූර්වාරාම පූජා කතා හි තුන්සිය හැට හත්වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
සැවැත් නුවරට නැගෙනහිර දිග්භාගයෙහි පූර්වාරාමය කරවන්නාහු. ඒ අනුව පූර්වාරාමය පිහිටා තිබිය යුත්තේ සැවැත් නුවර හෙවත් අනුරාධපුර පැරැණි නටබුන් නගරයට නැගෙනහිර දිශාවෙන්.
වර්ෂ එක්දහස් නමසිය හැට තුනේ දී නිකුත් කරපු රාජකීය ආසියාතික සංගමයේ ලංකාවට අදාළ සඟරාවේ, ඒ සඟරාව අපි නම් කරනවා ඉංග්‍රීසියෙන්, ජර්නල් ඔෆ් ද සිලෝන් බ්‍රාන්ච් ඔෆ් ද රෝයල් ඒසියාටික් සොසයිටි කියලා. එම සඟරාවේ සී. ඩබ්ලිව්. නිකොලස් මහතා විසින් රචනා කරපු හිස්ටෝරිකල් ටොපෝග‍්‍රැෆි ඔෆ් ඇන්ෂියන්ට් ඇන්ඩ් මිඩියවල් සිලෝන් නමැති වාර්තාවේ එකසිය හතලිස් හතරවන පිටුවේ මෙන්න මේ වගේ දක්වලා තියෙනවා.
ඒ අනුව කපාරාමූල නම් නිකාය අභයගිරි විහාරය සතු වූ බවත්, පූර්වාරාමය එම කපාරාමූල නිකායට අයත් වූ බවත් අපට වටහා ගන්න පුළුවන්. ඒ අනුව පූර්වාරාමය අනුරාධපුරයේ අභයගිරි විහාරයට අයත් භූමියේ පිහිටා තිබිය යුතුයි. අභයගිරි විහාර භූමිය ද පිහිටා තියෙන්නේ අනුරාධපුර පැරණි නටබුන් නගරයට නැගෙනහිර දිශාවෙන්. එසේ නම් පූර්වාරාම විහාරයේ නටබුන් එම භූමි ප්‍රදේශයේ ඇතැයි සලකන්න පුළුවන්.
විශාඛා උපාසිකාව විසින් බුදුන් වහන්සේ වෙත පුදනු ලැබූ පූර්වාරාමය සම්බන්ධව පූජාවලියේ සඳහන් වෙනවා. එහිදී විශාඛාව විසින් පූර්වාරාමය පිළිගැන්වූ පසු බුදුන් වහන්සේ වෙනුවෙන් තැනූ ආරාමයේ මැද පිහිටා තිබූ ශාලාවේ උන්වහන්සේ වෙනුවෙන් පනවා තිබූ ආසනයක වැඩ සිටි බව සඳහන් වෙනවා. මෙහි මැද ශාලාව ලෙස සඳහන් කරලා තියෙන්නේ එම ශාලාව වටේට තවත් ශාලා පිහිටා තිබුණු නිසා බව අපට හැඟී යනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කරලා මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහඅට වන පරිච්ඡේදයේ පූර්වාරාම පූජා කතා හි තුන්සිය හැට අටවන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.
මැද ගබඩාවෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ. ඒ අනුව, එම නටබුන් අතර මෙම මැද ශාලාව පිහිටා තිබෙන්නේ නම් එම ශාලාව වටා තවත් ශාලාවල නටබුන් තිබිය යුතුයි. එමෙන්ම මැද පිහිටි ශාලාවේ බුදුන් වහන්සේ වෙනුවෙන් පැනවූ ආසනයද තිබිය යුතුයි. මේ කාරණාව සපුරාලන ස්ථානයක් අභයගිරි විහාරයට අයත් නටබුන් භූමියෙන් අපිට හම්බවෙනවා. එම ස්ථානය වර්තමානයේදී නම් කරලා තියෙන්නේ මහසෙන් මාලිගාව කියන නමින්.
මේ තියෙන්නේ මැද ගබඩාවේ බුදුන් වහන්සේ වෙනුවෙන් සැකසූ ආසනය පිහිටි ස්ථානය.
මෙම ගබඩාවේ සිව් කොන් හි තවත් ගබඩා හතරක් පිහිටලා තියෙනවා. මැද ගබඩාවට මුහුණලා සිටගත් විට ඉදිරිපස දකුණු පැත්තේ ඇති ගබඩාවේ නටබුන් තමයි මේ දිස්වෙන්නේ.
මැද ගබඩාවට මුහුණලා සිටගත් විට ඉදිරිපස වම් පැත්තේ ඇති ගබඩාවේ නටබුණු තමයි මේ.
ඒත් එක්කම පිටුපස දකුණු පැත්තේ ඇති ගබඩාවේ නටබුන් මේ ආකාරයෙන් දිස් වෙනවා.
පිටුපස්සේ වම් පැත්තේ ඇති ගබඩාවේ නටබුන් තමයි මෙලෙස දැක්වෙන්නේ.
ඒ අනුව බුද්ධ කාලයේ පූර්වාරාම විහාරයේ මැද ගබඩාව කියලා කියන්නේ වර්තමානයේ මහසෙන් මාලිගාව නමින් හඳුන්වන තැන පිහිටා තියෙන ගොඩනැගිලි පහකින් යුක්තව තනවන ලද පංචාවාස නමින් හැඳින්වෙන නටබුන් ස්ථානය ලෙස අපට හඳුනාගත හැකියි.
පූර්වාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලාට පූජා කරන අවස්ථාවට සහභාගී වුණු නමුත් බුදුන් වහන්සේට පලසක් පූජා කිරීමට නොහැකිව හඬාවැලපුණු විශාඛාවන්ගේ යෙහෙළියකට ආනන්ද තෙරුන් වහන්සේ උපකාර කළ පුවතක් දැක්වෙනවා. එහි සඳහන් අන්දමට ඇයගේ පාපිස්නාව සඳකඩ පහනත් පාදෙනියත් අතර තැබීමට ආනන්ද තෙරුන් උපදෙස් දීලා තියෙනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහ අටවන පරිච්ඡේදයේ තුන්සිය හැට අටවන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.
අප අනඳ මහතෙරුන් වහන්සේ මෑ හඬන්නා දැක, මේසා පූජාවෙහි කුමට හඬාද නැගනියනි යි විචාරා, අඬන කාරණා අසා, තොපගේ පලස අතුරන තෙනෙක් මම දනිමීයි වදාරා, විශාඛාවන් නොසැලකූ තෙනෙක් දැක සඳකඩ පහණ හා පාදෙනිය අතුරෙහි පාපිස්නි කොට ලවා වදාළ සේක. ඒ අනුව බුදුන් වහන්සේ වැඩ සිටි එම ශාලාවට ඇතුල් වන ස්ථානයේ පාදෙණිය සහිත සඳකඩ පහණක් තිබිය යුතුයි.
මේ දැක්වෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි මැද ගබඩාවට ඇතුළු වන ස්ථානය.
එම මැද ශාලාවට ඇතුළු වන ස්ථානයේ ඇති පාදෙණිය සහිත සඳකඩ පහණ තමයි මේ ඔබට දැක්වෙන්නේ.
සඳකඩ පහනේ විකාශය ගැන අදහස් දක්වන පුරාවිද්‍යාඥයින් පවසන්නේ අනුරාධපුර යුගයේ සඳකඩ පහන ඉතා ප්‍රාථමික ආකාරයට නිර්මාණය කොට ඇති බවත්, කාලානුරූපීව එහි විකාශය සිදුවී ඇති බවත්. නමුත් මෙම ස්ථානයේ පිහිටා ඇති මෙම සඳකඩපහන අධ්‍යයනය කිරීමේදී වැටහෙන්නේ මෙය ඉතා විසිතුරු ලෙස කැටයම් කොට ඇති අගනා කලා නිර්මාණයක් බව. මෙම සඳකඩපහන කැටයම් නොමැතිව ප්‍රාථමික සඳකඩ පහන් නිර්මාණය කොට ඇති අනුරාධපුර යුගයට අයත් නොවන බවත්, දියුණු ශිෂ්ටාචාරයකට අයත් නිර්මාණයක් බවත් පහසුවෙන් වටහා ගන්න පුළුවන්.
පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහ අටවන පරිච්ඡේදයේ තුන්සිය හැට හත්වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
යෙළ දහසක් පා පිහිටුවා දෙමාල් මාලිගාවක් කොට කරවා යටි මාලයෙහි පන්සියයක් ගබඩාය, මතුමාලයෙහි සියයක් ගබඩාය යි විසිතුරු වූ දහසක් ගබඩා නිමවා. ඒ අනුව මෙම භූමියෙහි දෙමහල් මාලිගාවක් ඉදිකොට ඇති බව අපට වටහා ගන්න පුළුවන්.
මේ තියෙන්නේ මැද ගබඩාව ආශ්‍රිතව ඇති විශාඛාවන් විසින් ඉදිකරපු දෙමහල් මාලිගාවේ නටබුන්.
පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහ අටවන පරිච්ඡේදයේ තුන්සිය හැට හත්වන පිටුවේ වැඩිදුරටත් මෙන්න මේ වගේ සඳහන් වෙනවා.
පවුරු දොරටු, පැන් පොකුණු, උයන් මණ්ඩප ආදී සියලු කර්මාන්තම නව මසකින් නිමවා. ඒ අනුව මෙම භූමිය පවුරුවලින් වටකොට තිබූ බවත්, ඒවායින් ඇතුළුවීම සඳහා දොරටු ඉදිකොට තිබූ බවත්, එමෙන්ම භූමිය තුළ පැන් පොකුණු හා උයන් ඉදිකොට තිබූ බවත් අපට වටහා ගන්න පුළුවන්.
මේ දැක්වෙන්නේ කලින් සඳහන් කරපු දෙමහල් ප්‍රාසාදය සඳහා යාමට ඇති මාර්ගයේ තනවා ඇති ද්වාර මණ්ඩපයක්.
එම විහාර භූමියට ඇතුල්වීම සඳහා තිබූ පවුරු දොරටුවක් තමයි මේ දැක්වෙන්නේ.
ඒත් එක්කම සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකරපු පැන් පොකුණක් මේ දැක්වෙන්නේ.
සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකළ නාන තටාක.
මේ තවත් නාන තටාකයක්.
ඊටත් අමතරව ආරාම සංකීර්ණයකට අයත්වන විශේෂ අංගවලින් මෙම ප්‍රදේශය සමන්විතව තිබූ බවට වන නටබුන් අපට හඳුනා ගන්න පුළුවන්. මේ දැක්වෙන්නේ මෙම ආරාමයේ වැඩ සිටි සංඝරත්නයට දානය සැපයූ දාන ශාලාවක්, එහි නටබුන්.
සංඝයා වහන්සේලා උදෙසා නිර්මාණය කළ කැසිකිලි වල නටබුන්.
මේ තවත් කැසිකිලි නටඹුන්.
ඉහත දැක්වූ දේවල් වලට අමතරව මෙම ස්ථානයේ තවත් නටබුන් රාශියක් ඔබට දැක බලා ගත හැකි බව සඳහන් කරන්න ඕනේ.
අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ මේ කාරණය පිළිබඳව මුලින්ම ගවේෂණය කොට හෙළිකරලා තියෙන්නේ මූකලන්ගමුවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසින් කියන කාරණය. අපගේ ගවේෂණය සඳහා උන්වහන්සේ විසින් සපයා තිබූ කරුණුද පාදක කොට ගත් බවත් එම නිසා අපේ ගවේෂණය වඩා පහසු වූ බවත් අවසාන වශයෙන් සඳහන් කරන්න ඕන.
































