බුදුන්වහන්සේට පූජා කළ සැබෑ පූර්වාරාමය සොයා ගනී

අද අපි කතා කරන්න යන්නේ කෝසල ජනපදයේ පිහිටා තිබූ සැවැත් නුවර හෙවත් ශ්‍රාවස්තිපුර සම්බන්ධව අප කළ ගවේෂණයෙන් ලබාගත් තොරතුරු සහ සැවැත් නුවර විශාඛා උපාසිකාව විසින් ඉදිකළ පූර්වාරාමය පිළිබඳව ගවේෂණයෙන් ලබාගත් තොරතුරු සම්බන්ධව. මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන්, පණ්ඩිත කිරිඇල්ලේ ඥාණ විමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ තුන්සිය තිස් හත්වන පිටුවේ ශ්‍රාවස්තිපුරය පිළිබඳව මෙන්න මේ වගේ සඳහනක් තියෙනවා. 



කසී කොසොල් දෙරටින් නුවරට සතර දිගින් වදිනා අය කියලා. එහි සඳහන් වෙන්නේ කාසි සහ කෝසල කියන ජනපදවාසීන්ගෙන් සැවැත් නුවර නිතර පිරී පවතින බව. ඉන් තහවුරු වෙන්නේ සැවැත් නුවර පිහිටා තිබී ඇත්තේ කෝසල ජනපදයෙ වුණත් එය කාශි ජනපදයටත් නුදුරු ස්ථානයක පිහිටා තිබිය යුතුයි කියන කාරණය. කෝසල ජනපදය තුළ පිහිටියා යැයි මේ වන විට සහතික කරගෙන තියෙන වර්තමාන අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් දුම්රියපොළක්, බස් නැවතුම්පොළක්, පාසලක් සහ රෝහලක් වැනි වුණු සියලු මූලික පහසුකම් වලින් යුත් ශ්‍රාවස්තිපුර යනුවෙන් නගරයක් පවතිනවා. 

මේ දැක්වෙන්නේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ ඡායාරූපයක්.



සාපේක්ෂ පිහිටීම අනුව මෙම ශ්‍රාවස්තිපුර එකල ශ්‍රාවස්ති නුවර ලෙස හැඳින්වූ ප්‍රදේශය බවට මූලික අනුමානයක් අපට ගොඩනගා ගන්න පුළුවන්. අනේපිඬු සිටුතුමා විසින් බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් සැවැත් නුවර ජේතවනාරාමය ඉදිකිරීමෙන් අනතුරුව එය පිළිගැනීමට රජගහ නුවර සිට සැවැත් නුවර බලා වඩින බුදුන් වහන්සේ හට අනේපිඬු සිටුතුමා විසින් අතර මග නවාතැන් පහසුකම් සැපයූ ආකාරය පූජාවලියේ දැක්වෙනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණ විමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ තුන්සිය තිස්හත්වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.


පන්සාලිස් යොදනෙහි පන්සාලිස් වෙහෙරක් කරවා සැවැත් නුවරට ගොස් කියලා. ඒ අනුව පැහැදිලි වෙන්නේ අනේපිටු සිටුතුමා හට බුදුන් වහන්සේ හමුවූ රජගහ නුවර සීත නම් වූ මහ වෙනෙහි ඉඳලා සැවැත් නුවරට දුර යොදුන් හතලිස් පහක් බවයි. මෙම දුර ප්‍රමාණයද අපගේ ගවේෂණය හරහා අප විසින් රජගහනුවර ලෙස හඳුනා ගනු ලැබූ දඹුල්ල ප්‍රදේශයේ ඉඳලා වර්තමාන ශ්‍රාවස්තිපුර පිහිටි ප්‍රදේශය අතර දුරට ගැලපෙනවා. 

ඒත් එක්කම වර්තමානයේ අනුරාධපුරයේ යැයි හඳුන්වන එකල ශ්‍රාවස්ති නුවරට අයත් වූ මෙම ප්‍රදේශය හැඳින්වීම සඳහා අතීතයේදී පූටභේදනය නම් වචනයක් සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ භාවිතා කර ඇති බව පුරාවිද්‍යා ගවේෂක මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉන් පැහැදිලි වෙනවා මෙම ප්‍රදේශය පුරාණයේදී වෙළෙන්දන්ගේ බඩු පොද ලිහන ස්ථානයක් ලෙස භාවිතා වී ඇති බව. ඒ බව සනාථ කෙරෙන සාධකයක් ත්‍රිපිටකයෙන් අපිට හම්බවෙනවා. නාග හෙළයට අයත් වූ පුණ්ණ නම් වෙළඳනායකයා තම වෙළඳාම් කටයුතු සඳහා සැවැත් නුවරට පැමිණි බවත්, එහිදී බුදුන් වහන්සේ හමුවූ බවත් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර අට්ටකථාහි මජ්ඣිම නිකාය අට්ටකතාවල පුණ්ණෝවාද සූත්‍ර වර්ණනා හි මෙන්න මේ වගේ සඳහන් වෙනවා. 

සිංහල පරිවර්තනය :

එහි මේ පිළිවෙළ කථාවයි - සුනාපරන්ත රටෙහි එක් වෙළඳ ගමක මේ සහෝදරයන් දෙදෙනා වූහ. ඔවුන්ගෙන් වැඩිමහලා කිසිකළෙක කරත්ත පන්සියයක් ගෙන ජනපදයට ගොස් බඩු ගෙනෙයි. සමහර කලෙක බාලයා ද බඩු ගෙනෙයි. මේ කාලයෙහි බාලයා ගෙදර තබා වැඩිමහළු සහෝදරයා ගැල් පන්සියය ගෙන ජනපද චාරිකාවෙහි හැසිරෙන්නේ පිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රමට නුදුරෙහි ගැල් නවත්වා අනුභව කරන ලද උදෑසන බත්කිස ඇත්තේ පිරිවර ජනයා පිරිවරණ ලද්දේ පහසු තැනක සිටියේය.

මෙහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය කොටස් පමණක් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. සුනාපරන්ත රටෙහි එක් වෙළඳගමක මේ සහෝදරයන් දෙදෙනා වූහ. වැඩිමහළු සහෝදරයා ගැල් පන්සියය ගෙන ජනපද චාරිකාවෙහි හැසිරෙන්නේ පිළිවෙලින් සැවැත් නුවරට පැමිණ. ඒ අනුව සැවැත් නුවර යනු වෙළෙන්ඳන් ගැවසුණු ප්‍රදේශයක් බව අපට වටහා ගන්න පුළුවන්. 

වර්තමානයේ අනුරාධපුරය ලෙස හැඳින්වෙන එකල ශ්‍රාවස්ති නුවරට අයත් වූ මෙම ප්‍රදේශය ආශ්‍රිතව වැඩිපුරම පුරාවිද්‍යා කැණීම් ප්‍රමාණයක් සිදුකරලා තියෙන්නේ පුරාවිද්‍යා ගවේෂක ආචාර්ය ශිරාන් දැරණියගල මහත්මය විසින්. ඒ මහතා විසින් අනුරාධපුරයේ ඇතුළු නුවරට අයත් ප්‍රදේශයේ සිදුකරන ලද කැණීමකින් සොයාගත් බ්‍රාහ්මීය අක්ෂර සහිත වලං කැබැල්ල සහ එය පිහිටා තිබූ පාෂාණ ස්ථරය ක්‍රිස්තු පූර්ව නමවන සියවසට පමණ අයත් වේ යැයි කාබන් කාල නිර්ණය අනුව සනාථ කොට ගෙන තිබෙනවා. ඒ අනුව මෙහිදී හමුවූ පුරාවිද්‍යා සාධක බුදුන්ගේ සමයටත් වඩා සියවස් හතරක් පමණ පැරණි බව අපට වටා ගන්න පුළුවන්. අනුරාධපුර නගරයෙන් පිට තදාසන්න ප්‍රදේශවල සිදුකර ඇති කැණීම් වලින් ලැබෙන ප්‍රතිඵලවලින්ද එම ප්‍රදේශයේ පෞරාණිකත්වය ක්‍රිස්තු පූර්ව නව වන සියවස දක්වා විහිදේ යැයි පුරාවිද්‍යා ගවේෂක මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව වර්තමානයේ අනුරාධපුරය යැයි හඳුන්වන මෙම ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශයන් බුදුන් දවස වන විටත් ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව හයවන සියවස වන විටත් ජනාවාස වී තිබූ බව අපට පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. 

මෙම ස්ථානය සල්පිලක් ලෙස වැඩිදියුණු වීම හරහා වෙළෙන්ඳන් රැස්වී තමන්ගේ වෙළඳ කටයුතු කරගෙන යන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය ආරම්භ වන්නට ඇතැයිද ඒ අනුව එම ප්‍රදේශයට රැස්වෙන වෙළෙන්ඳන් මෙන්ම ගැණුම්කරුවන් සඳහා පහසුකම් සහ සේවාවන් ආරම්භ වෙලා ක්‍රමයෙන් නගරයක් ලෙස නිර්මාණය වන්නට ඇතැයිද රාජ් සෝමදේව මහත්මයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔය කියන හැඳින්වීමත් සමග අපට වටහා ගන්න පුළුවන් කෝසල ජනපදයේ පිහිටා තිබූ සැවැත් නුවර කියලා කියන්නේ වර්තමානයේ ශ්‍රාවස්තිපුර ලෙස හඳුන්වන ප්‍රදේශය සහ අනුරාධපුර පැරණි නගරය පිහිටා තිබූ ප්‍රදේශය කියන කාරණාව. 

ඊළඟට අපි සැවැත් නුවර පිහිටි පූර්වාරාමය පිළිබඳව සොයාගත් කාරණා විමසා බලමු. ත්‍රිපිටකයේ දීග නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා. 

සිංහල පරිවර්තනය :

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්‍ෂුභාවය (උපසපුව) පතන්නාහු භික්‍ෂූන් කෙරෙහි පිරිවෙසෙත්, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම, සවස් වේලෙහි පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා, ‘ඇවැත්නි, භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු. භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්‍ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා යෙහෙකැයි කී ය. එසේ ය, ඇවැත්නියි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ, සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.

එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. සැවැත් නුවර මිගාරමාතු පාසාද නම් වූ පූර්වාරාමයෙහි. ඒ අනුව බුදුන් වහන්සේ වැඩසිටි බවට සැලකෙන පූර්වාරාම විහාරය පිහිටා තිබුණේ ශ්‍රාවස්තිපුර හෙවත් සැවැත් නුවර ආශ්‍රිත බව ඔබට වටහා ගන්න පුළුවන්. 

සැවැත් නුවරට සාපේක්ෂව පූර්වාරාමයේ පිහිටීම පූජාවලිය දක්වලා තියෙනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ පූර්වාරාම පූජා කතා හි තුන්සිය හැට හත්වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා. 



සැවැත් නුවරට නැගෙනහිර දිග්භාගයෙහි පූර්වාරාමය කරවන්නාහු. ඒ අනුව පූර්වාරාමය පිහිටා තිබිය යුත්තේ සැවැත් නුවර හෙවත් අනුරාධපුර පැරැණි නටබුන් නගරයට නැගෙනහිර දිශාවෙන්. 

වර්ෂ එක්දහස් නමසිය හැට තුනේ දී නිකුත් කරපු රාජකීය ආසියාතික සංගමයේ ලංකාවට අදාළ සඟරාවේ, ඒ සඟරාව අපි නම් කරනවා ඉංග්‍රීසියෙන්, ජර්නල් ඔෆ් ද සිලෝන් බ්‍රාන්ච් ඔෆ් ද රෝයල් ඒසියාටික් සොසයිටි කියලා. එම සඟරාවේ සී. ඩබ්ලිව්. නිකොලස් මහතා විසින් රචනා කරපු හිස්ටෝරිකල් ටොපෝග‍්‍රැෆි ඔෆ් ඇන්ෂියන්ට් ඇන්ඩ් මිඩියවල් සිලෝන් නමැති වාර්තාවේ එකසිය හතලිස් හතරවන පිටුවේ මෙන්න මේ වගේ දක්වලා තියෙනවා. 



ඒ අනුව කපාරාමූල නම් නිකාය අභයගිරි විහාරය සතු වූ බවත්, පූර්වාරාමය එම කපාරාමූල නිකායට අයත් වූ බවත් අපට වටහා ගන්න පුළුවන්. ඒ අනුව පූර්වාරාමය අනුරාධපුරයේ අභයගිරි විහාරයට අයත් භූමියේ පිහිටා තිබිය යුතුයි. අභයගිරි විහාර භූමිය ද පිහිටා තියෙන්නේ අනුරාධපුර පැරණි නටබුන් නගරයට නැගෙනහිර දිශාවෙන්. එසේ නම් පූර්වාරාම විහාරයේ නටබුන් එම භූමි ප්‍රදේශයේ ඇතැයි සලකන්න පුළුවන්. 

විශාඛා උපාසිකාව විසින් බුදුන් වහන්සේ වෙත පුදනු ලැබූ පූර්වාරාමය සම්බන්ධව පූජාවලියේ සඳහන් වෙනවා. එහිදී විශාඛාව විසින් පූර්වාරාමය පිළිගැන්වූ පසු බුදුන් වහන්සේ වෙනුවෙන් තැනූ ආරාමයේ මැද පිහිටා තිබූ ශාලාවේ උන්වහන්සේ වෙනුවෙන් පනවා තිබූ ආසනයක වැඩ සිටි බව සඳහන් වෙනවා. මෙහි මැද ශාලාව ලෙස සඳහන් කරලා තියෙන්නේ එම ශාලාව වටේට තවත් ශාලා පිහිටා තිබුණු නිසා බව අපට හැඟී යනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කරලා මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහඅට වන පරිච්ඡේදයේ පූර්වාරාම පූජා කතා හි තුන්සිය හැට අටවන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.



මැද ගබඩාවෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ. ඒ අනුව, එම නටබුන් අතර මෙම මැද ශාලාව පිහිටා තිබෙන්නේ නම් එම ශාලාව වටා තවත් ශාලාවල නටබුන් තිබිය යුතුයි. එමෙන්ම මැද පිහිටි ශාලාවේ බුදුන් වහන්සේ වෙනුවෙන් පැනවූ ආසනයද තිබිය යුතුයි. මේ කාරණාව සපුරාලන ස්ථානයක් අභයගිරි විහාරයට අයත් නටබුන් භූමියෙන් අපිට හම්බවෙනවා. එම ස්ථානය වර්තමානයේදී නම් කරලා තියෙන්නේ මහසෙන් මාලිගාව කියන නමින්. 



මේ තියෙන්නේ මැද ගබඩාවේ බුදුන් වහන්සේ වෙනුවෙන් සැකසූ ආසනය පිහිටි ස්ථානය.



මෙම ගබඩාවේ සිව් කොන් හි තවත් ගබඩා හතරක් පිහිටලා තියෙනවා. මැද ගබඩාවට මුහුණලා සිටගත් විට ඉදිරිපස දකුණු පැත්තේ ඇති ගබඩාවේ නටබුන් තමයි මේ දිස්වෙන්නේ. 



මැද ගබඩාවට මුහුණලා සිටගත් විට ඉදිරිපස වම් පැත්තේ ඇති ගබඩාවේ නටබුණු තමයි මේ. 



ඒත් එක්කම පිටුපස දකුණු පැත්තේ ඇති ගබඩාවේ නටබුන් මේ ආකාරයෙන් දිස් වෙනවා.



පිටුපස්සේ වම් පැත්තේ ඇති ගබඩාවේ නටබුන් තමයි මෙලෙස දැක්වෙන්නේ.



ඒ අනුව බුද්ධ කාලයේ පූර්වාරාම විහාරයේ මැද ගබඩාව කියලා කියන්නේ වර්තමානයේ මහසෙන් මාලිගාව නමින් හඳුන්වන තැන පිහිටා තියෙන ගොඩනැගිලි පහකින් යුක්තව තනවන ලද පංචාවාස නමින් හැඳින්වෙන නටබුන් ස්ථානය ලෙස අපට හඳුනාගත හැකියි. 

පූර්වාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලාට පූජා කරන අවස්ථාවට සහභාගී වුණු නමුත් බුදුන් වහන්සේට පලසක් පූජා කිරීමට නොහැකිව හඬාවැලපුණු විශාඛාවන්ගේ යෙහෙළියකට ආනන්ද තෙරුන් වහන්සේ උපකාර කළ පුවතක් දැක්වෙනවා. එහි සඳහන් අන්දමට ඇයගේ පාපිස්නාව සඳකඩ පහනත් පාදෙනියත් අතර තැබීමට ආනන්ද තෙරුන් උපදෙස් දීලා තියෙනවා. ඒ බව පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහ අටවන පරිච්ඡේදයේ තුන්සිය හැට අටවන පිටුවේ මෙන්න මේ වගේ දැක්වෙනවා.



අප අනඳ මහතෙරුන් වහන්සේ මෑ හඬන්නා දැක, මේසා පූජාවෙහි කුමට හඬාද නැගනියනි යි විචාරා, අඬන කාරණා අසා, තොපගේ පලස අතුරන තෙනෙක් මම දනිමීයි වදාරා, විශාඛාවන් නොසැලකූ තෙනෙක් දැක සඳකඩ පහණ හා පාදෙනිය අතුරෙහි පාපිස්නි කොට ලවා වදාළ සේක. ඒ අනුව බුදුන් වහන්සේ වැඩ සිටි එම ශාලාවට ඇතුල් වන ස්ථානයේ පාදෙණිය සහිත සඳකඩ පහණක් තිබිය යුතුයි. 

මේ දැක්වෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි මැද ගබඩාවට ඇතුළු වන ස්ථානය.



එම මැද ශාලාවට ඇතුළු වන ස්ථානයේ ඇති පාදෙණිය සහිත සඳකඩ පහණ තමයි මේ ඔබට දැක්වෙන්නේ. 



සඳකඩ පහනේ විකාශය ගැන අදහස් දක්වන පුරාවිද්‍යාඥයින් පවසන්නේ අනුරාධපුර යුගයේ සඳකඩ පහන ඉතා ප්‍රාථමික ආකාරයට නිර්මාණය කොට ඇති බවත්, කාලානුරූපීව එහි විකාශය සිදුවී ඇති බවත්. නමුත් මෙම ස්ථානයේ පිහිටා ඇති මෙම සඳකඩපහන අධ්‍යයනය කිරීමේදී වැටහෙන්නේ මෙය ඉතා විසිතුරු ලෙස කැටයම් කොට ඇති අගනා කලා නිර්මාණයක් බව. මෙම සඳකඩපහන කැටයම් නොමැතිව ප්‍රාථමික සඳකඩ පහන් නිර්මාණය කොට ඇති අනුරාධපුර යුගයට අයත් නොවන බවත්, දියුණු ශිෂ්ටාචාරයකට අයත් නිර්මාණයක් බවත් පහසුවෙන් වටහා ගන්න පුළුවන්.

පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහ අටවන පරිච්ඡේදයේ තුන්සිය හැට හත්වන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.



යෙළ දහසක් පා පිහිටුවා දෙමාල් මාලිගාවක් කොට කරවා යටි මාලයෙහි පන්සියයක් ගබඩාය, මතුමාලයෙහි සියයක් ගබඩාය යි විසිතුරු වූ දහසක් ගබඩා නිමවා. ඒ අනුව මෙම භූමියෙහි දෙමහල් මාලිගාවක් ඉදිකොට ඇති බව අපට වටහා ගන්න පුළුවන්. 

මේ තියෙන්නේ මැද ගබඩාව ආශ්‍රිතව ඇති විශාඛාවන් විසින් ඉදිකරපු දෙමහල් මාලිගාවේ නටබුන්.



පූජාවලිය මුල් කෘතිය ආධාරයෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කරපු ග්‍රන්ථයේ දහ අටවන පරිච්ඡේදයේ තුන්සිය හැට හත්වන පිටුවේ වැඩිදුරටත් මෙන්න මේ වගේ සඳහන් වෙනවා.



පවුරු දොරටු, පැන් පොකුණු, උයන් මණ්ඩප ආදී සියලු කර්මාන්තම නව මසකින් නිමවා. ඒ අනුව මෙම භූමිය පවුරුවලින් වටකොට තිබූ බවත්, ඒවායින් ඇතුළුවීම සඳහා දොරටු ඉදිකොට තිබූ බවත්, එමෙන්ම භූමිය තුළ පැන් පොකුණු හා උයන් ඉදිකොට තිබූ බවත් අපට වටහා ගන්න පුළුවන්. 

මේ දැක්වෙන්නේ කලින් සඳහන් කරපු දෙමහල් ප්‍රාසාදය සඳහා යාමට ඇති මාර්ගයේ තනවා ඇති ද්වාර මණ්ඩපයක්.



එම විහාර භූමියට ඇතුල්වීම සඳහා තිබූ පවුරු දොරටුවක් තමයි මේ දැක්වෙන්නේ. 



ඒත් එක්කම සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකරපු පැන් පොකුණක් මේ දැක්වෙන්නේ.



සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකළ නාන තටාක. 



මේ තවත් නාන තටාකයක්.



ඊටත් අමතරව ආරාම සංකීර්ණයකට අයත්වන විශේෂ අංගවලින් මෙම ප්‍රදේශය සමන්විතව තිබූ බවට වන නටබුන් අපට හඳුනා ගන්න පුළුවන්. මේ දැක්වෙන්නේ මෙම ආරාමයේ වැඩ සිටි සංඝරත්නයට දානය සැපයූ දාන ශාලාවක්, එහි නටබුන්.



සංඝයා වහන්සේලා උදෙසා නිර්මාණය කළ කැසිකිලි වල නටබුන්. 



මේ තවත් කැසිකිලි නටඹුන්. 



ඉහත දැක්වූ දේවල් වලට අමතරව මෙම ස්ථානයේ තවත් නටබුන් රාශියක් ඔබට දැක බලා ගත හැකි බව සඳහන් කරන්න ඕනේ. 

අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ මේ කාරණය පිළිබඳව මුලින්ම ගවේෂණය කොට හෙළිකරලා තියෙන්නේ මූකලන්ගමුවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසින් කියන කාරණය. අපගේ ගවේෂණය සඳහා උන්වහන්සේ විසින් සපයා තිබූ කරුණුද පාදක කොට ගත් බවත් එම නිසා අපේ ගවේෂණය වඩා පහසු වූ බවත් අවසාන වශයෙන් සඳහන් කරන්න ඕන.


සැබෑ ලංකාද්වීපය පිහිටි ප්‍රදේශය පිළිබඳ විශේෂ අනාවරණය

මේ වෙනකොට අපි සොළොස් මහා ජනපද පිහිටි ස්ථාන පිළිබඳව දළ සැකැස්මක් නිර්මාණය කරගෙන පවතින නිසා ලංකාද්වීපය පිහිටි ස්ථානය පිළිබඳව ගවේෂණ කටයුතු ආරම්භ කළා. මෙම ජනපද පිහිටා ඇති ස්ථාන සහ දිශාවන් නිවැරදි වන නමුත් ජනපදවල විශාලත්වයන් සහ එහි සීමාවල් තවම නිසි ලෙස වටහාගෙන නොමැති බව සඳහන් කරන්න අවශ්‍යයි. එහිදී ලංකාද්වීපය පිහිටි ස්ථානය ලෙස තහවුරු වුණේ ගිනිකොනදිග දිශාවේ පිහිටි ප්‍රදේශයක්. එහිදී මහාවංශයේ පහළොස්වන පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් සඳහන් වන කරුණු අනුව ලංකාද්වීපයේ සීමාවන් හඳුනා ගනු ලැබූ බව සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම අපගේ නමවැනි වැඩසටහනේ ලංකාද්වීපය පිහිටි ප්‍රදේශය ලෙස අනුරාධපුරය හා පුත්තලම අතර ප්‍රදේශයක් සඳහන් කිරීමත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මායා රටේ ඉතිහාසය නැමැති ග්‍රන්ථය මූලික කරගෙන තම්මැන්නාවේ පිහිටීම පුත්තලම මී ඔය ලෙස දැක්වීමත් දෝෂ සහිත බව අප හට වැටහී ගියා. එමෙන්ම දැනට සම්මත ඉතිහාසය මූලික කොට ගෙන අප විසින් හතරවන වැඩසටහනේදී මාතොට වරායේ පිහිටීම මන්නාරම ලෙසත්, දඹකොළ පටුන පිහිටීම යාපනය අර්ධද්වීපය ලෙසත්, විජය ගොඩබැස්ස තම්මැන්නාව මන්නාරම අසල පිහිටා තිබුණු බවත් දැක්වීම දෝෂ සහිත බව අප හට වැටහී ගියා. එම වැඩසටහන් නැරඹූ සහෘදයින් කිහිපදෙනෙක් ඒ බව අප වෙත දන්වා එවා තිබූ බවද මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි. එම නිවැරදි කිරීම් කිහිපය සම්බන්ධව සඳහනක් කරමින් අද මෙම වීඩියෝව තුළින් කතා කිරීමට බලාපොරොත්තු වෙන මාතෘකාව වෙත එළඹෙන්නම්. දඹදිව නිවැරදි ඉතිහාසය සොයා ගැනීමට ආරම්භ කළ මෙම ප්‍රයත්නය තුළදී දඹදිව මෙන්ම ලංකාද්වීපයේද ඉතිහාසය විකෘති වී ඇති බව අපට වැටහී ගියා. ඉතිහාස විකෘතිය ලෙස මෙතැනදී අදහස් කළේ ලිඛිත මූලාශ්‍ර සමගි අදාළ ස්ථාන හඳුනා ගැනීමේදී සිදුවී ඇති අතපසුවීම සම්බන්ධව. ඒ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයින් මෙන්ම ක්ලිප්පේ අරියමග්ග, රත්ගම ධම්මගවේශී යන හිමිවරුන් ද යම් යම් කරුණු මේ වනවිට ඉදිරිපත් කොට තිබෙන බව ප්‍රකාශ කළ යුතුයි.

සාමූහික ප්‍රයත්නයක් මගින් දෝෂ අවම කර ගැනීමටත් වඩා නිවැරදි කරුණු ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමටත් හැකිවන බව අප විශ්වාස කරනවා. එම නිසා මේ අවස්ථාවේදී අපි ආරාධනා කරනවා මේ කාරණය සම්බන්ධව ගවේෂණය කරන කණ්ඩායම් හෝ පුද්ගලයින්ට අප විසින් ඉදිරිපත් කරන කරුණුවල වැඩි නිරවද්‍යතාවයක් තිබෙන බව ඔබට වැටහෙනවනම් පමණක් අප සමඟ සන්නිවේදන සම්බන්ධතාවයක් පවත්වා ගන්න කියලා. අපගේ විද්‍යුත් ලිපිනය පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවන්න ඔබට පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් හෝ සිංග්ලිෂ් ක්‍රමයට හෝ එම පණිවුඩය ඔබට යොමු කරන්න පුළුවන්. අපට අවශ්‍ය වන්නේ පැහැදිලි සන්නිවේදන ක්‍රියාවලියක් පමණයි.

පැහැදිලි ලෙසම මෙම අධ්‍යයනය සිදුකරන්නේ ඉතිහාස සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර මත පදනක්ම පමණක් බැවින් ඔබගේ සිතළු මත ඇතිකරගත් උපකල්පන අප සාකච්ඡා නොකරන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් මූලාශ්‍රයක් පදනම් කොට ලබාගත් තොරතුරු සම්බන්ධව ඔබට හැඟෙන දේ විග්‍රහ කළ හැකියි. මේ වනවිටත් මෙරට පිහිටි ස්ථාන සම්බන්ධව එකිනෙකට වෙනස් අදහස් දැරුවත් එකම මතයක් දරන කාරණා සම්බන්ධව ගවේෂකයින් කිහිපදෙනෙක් අප සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් පවතින බවත් දැනුවත් කරන්න අවශ්‍යයි.

කිසිම අවස්ථාවකදී අප දරන මත සම්බන්ධව විවාද හෝ ගැටුම් ඇතිකර නොගත යුතු අතර, අප ගවේෂණ ප්‍රතිඵල පමණක් සුහදව බෙදා ගැනීම සිදුකළ යුතු බවත් මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමෙන් අනතුරුව බහුතරයක් එකඟ වන පොදු මතයකට පැමිණිය හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. යම්කිසි අධ්‍යයනයක් හෝ ගවේෂණයක් අතරතුර ඕනෑම අයෙකු ගන්නා තීන්දු තීරණ වැරදීමේ සම්භාවිතයක් තිබෙන අතර අවශ්‍ය විටකදී එය නිවැරදි කරමින් ඉදිරියට යෑම හරහා එම අධ්‍යයන හෝ ගවේෂණය ඵල සහිත එකක් බවට පත්කර ගත හැකි බව අපේ විශ්වාසයයි. මෙම කටයුත්ත අප විසින් සිදුකරගෙන යනු ලබන්නේ හුදෙක් සත්‍ය ඉතිහාසය ජනගත කිරීමේ අපේක්ෂාවෙන් වන නිසා අප ඉදිරිපත් කර ඇති කරුණු කාරණා සත්‍යය යැයි විශ්වාස කරන ඕනෑම අයෙකුට ඒ සම්බන්ධ ගවේෂණ වාර්තා සහ ප්‍රතිඵල විස්තර අපගේ බ්ලොග් එක හරහා හෝ අප විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් ලබාගත හැකියි. ඒවා සම්බන්ධව අප කර්තෘ අයිතියක් ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවද සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම ඔබ බොහෝ විට මේ වන විටත් හොඳින් දන්නා ස්වාධීන ඉතිහාස ගවේෂකයෙකු වන ප්‍රසාද් කුමාර මහතා විසින් ආරම්භ කළ සංගමයට බැඳීම හරහාද එකිනෙකා හඳුනා ගැනීම සහ ඒ හරහා සුහදත්වයක් වර්ධනය කර ගැනීම සිදුකළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒවගේම අවසාන වශයෙන් කියන්න ඕනේ මේ දක්වා විකාශය කළ අපගේ වැඩසටහන්වල අන්තර්ගතය සම්බන්ධව ඔබට ඇතිවී තිබෙන සහ ඇති වේ යැයි අපේක්ෂා කරන ප්‍රශ්න සම්බන්ධව පැහැදිලි කිරීම් ඉදිරියේදී කෙටි වැඩසටහන් මගින් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔබ විසින් ඔබගේ දැනුම වැඩිකර ගැනීමේ හෝ ලුහුඬින් දන්නා දෙයක් සවිස්තරව දැනගැනීමේ අපේක්ෂාවෙන් හෝ දන්නා දෙයක් නිවැරදිව තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙන් මතු කරන ප්‍රශ්නවලට කමෙන්ට්ස් සෙක්ෂන් එක තුළ කෙටියෙන් ඉදිරිපත් කළ නොහැකි පිළිතුරු සඳහා මෙවැනි වැඩසටහන් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

බුදුන්ගේ පළමු ධර්ම දේශනය පැවති ස්ථානය හෙළිවේ

අපි පසුගිය වැඩසටහනින් කතා කළා සිද බෝසතාණන් බුද්ධත්වයට පත්වුණු ආකාරයත් සත් සතිය ගත කළ කාලයට අදාළ කාරණා සම්බන්ධව. අද අපි වැඩසටහන ආරම්භ කරන්නේ බරණැස ඉසිපතනාරාමයට සම්බන්ධව මහාවංශයේ සඳහන් කාරණා විග්‍රහ කරමින්.

මහාවංශයට අනුව ගොතම බුදුන් වහන්සේ විසින් මුල්ම ධර්ම දේශනය පවත්වලා තියෙන්නේ බරණැස් නුවරදී.


ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ ධම්මචක්කප්පවත්තන
සූත්‍රයේ මෙන්න මේ වගේ සඳහන් කරලා තියෙනවා. 

සිංහල පරිවර්තනය :

3853. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නුවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. 

එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් පමණක් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. ඒ අනුව අපට වැටහෙනවා බුද්ධත්වයෙන් පසු මුල්ම ධර්ම දේශනය පස්වග මහණුන්ට බරණැස් නුවර සමීපයේ පිහිටි ඉසිපතනාරාමයේදී දෙසූ බව. එසේ නම් ඉසිපතනාරාමය පිහිටිලා තියෙන්න ඕනේ බරණැස ආසන්නයට වෙන්න.

ඉසිපතනාරාමය ලෙස දැනට ස්ථාන දෙකක් යෝජනා වෙලා තියෙනවා. ඉන් පළමුවැන්න දඹුල්ල ප්‍රදේශයේ ඇති කළුදිය පොකුණ. අනිත් ස්ථානය මැදවච්චිය ඉසින්බැස්සගල. ඉසිපතනාරාමය පිහිටා තිබිය යුත්තේ කෂී රට බරණැස් නුවරට ආසන්නව. නමුත් කළුදිය පොකුණ පිහිටා තිබෙන්නේ මගධ දේශය තුළ. ඒ අනුව කළුදිය පොකුණ ඉසිපතනාරාමය ලෙස සැලකිය නොහැකි බවට පූර්ව මතයක් ගොඩනගා ගන්න පුළුවන්. 

යෝජනා වී ඇති ස්ථානවලින් අප කළ ගවේෂණයට අදාළව ඊළඟට හඳුනා ගනු ලැබුවේ යාපනය මාර්ගයේ මැදවච්චිය පසුකොට යාපනය දෙසට කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට මහාමාර්ගය අසලම දකුණු පැත්තේ පිහිටා ඇති ඉසින්බැස්සගල කියන ස්ථානය.


ඒ කාලේ වාසය කරපු ඍෂිවරු අහසින් ගමනේ යෙදිලා බිමට බැහැපු, එහෙම නැත්නම් පතනය වුණු ස්ථානයේ ඉදිකළ ආරාමය යන අරුත ඇති ඉසිපතනාරාමය ලෙස හඳුන්වා ඇති මෙම ස්ථානය වර්තමානයේ හඳුන්වන්නේ ඉසින්බැස්සගල කියලා තමයි මේ පිළිබඳව ගවේෂණය කර ඇති විදුලි ඉංජිනේරු සිසිර පෙරේරා මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. සිද බෝධිසත්වයන් බුදු වූ ස්ථානය වගේම බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පවත්වපු ඉසිපතනාරාමයත් පිහිටිලා තියෙන්න ඕනේ කශීරට බරණැස් නුවරට ආසන්නව. ඒ අනුව ඉසින්බැස්සගල නිවැරදි ස්ථානය බවට මූලිකව අපට අනුමානය කරන්න පුළුවන්.

බුදුන් වහන්සේ පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීමට ඉසිපතනාරාමයට වැඩි පුවතක් ඇසූ ශත හෙවත් සාතගිර කියන යක්ඛ හෙළයට අයත් සෙන්පතියා එම ස්ථානයට පැමිණ ධර්ම දේශනාවට සවන් දුන්න බවක් සඳහන් වෙනවා. ඒ අවස්ථාව ත්‍රිපිටකයේ හේමවත සූත්‍ර වර්ණනාවේ මෙන්න මේ වගේ දක්වලා තියෙනවා. 

සිංහල පරිවර්තනය :

ඒ යක්සෙන්පතියෝද යකුන් දහසක පිරිවර සමග, මැදියම්හි ඉසිපතනයට පැමිණ, දම්සක් පවත්වන ලද අසුනෙහිම වැඩසිටි පලගෙහිම වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ අක්‍ඛාතාරං පවත්තාරං යන මේ ගාථාවෙන් තුති පැසසුම් කොට අවසර ලබාගත්හ. එම ගාථාවේ අරුත නම්, තණ්හාව හැර, තුන්ලොවෙහි පවත්නා කරුණු පිළිබඳව මහණෙනි, බුදුවරුන් විසින් අවබෝධ කරන ලද දුක පිළිබඳ ඇත්ත මේයැයි ඇති තතු පහදා දෙන බැවින්, ‘ඉදං ඛො පන භික්‍ඛවෙ දුක්‍ඛං අරියසච්චං’ - අක්‍ඛාතාරං වේ. මහණෙනි, මේ දුක පිළිබඳ ඇත්ත මා පිරිසිඳ දක්නා ලදී. තං ඛො පනිදං දුක්‍ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යංයනුවෙන් සඳහන් කරන ලද තන්හී කළයුතු හා කරන ලදැයි නුවණින් නොදැන පහදා දුන් බුදුවදන පවත්තාරං වේ. (ඊට අදාළ කරුණු) පැවසිය යුතුනම්, එය වහරට අනුව පහදා දී ඇත.

එහි සිංහල පරිවර්තනයේ අවශ්‍ය තැන් උපුටා අරගෙන මම ඔබට සඳහන් කරන්නම්. ඒ යක්සෙන්පතියෝද යකුන් දහසක පිරිවර සමග, මැදියම්හි ඉසිපතනයට පැමිණ, දම්සක් පවත්වන ලද අසුනෙහිම වැඩසිටි පලගෙහිම වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ. 

එම සිද්ධිය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් රචනා කරන ලද ගෞතම බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ අසූ හත්වන පිටුවේ මෙන්න මේ වගේ දක්වලා තියෙනවා. 


දම්සක් පැවැත්මෙහිදී ශාතගිර නම් යක් සෙනවියා හෙතෙම සිය පිරිස කැටිව අවුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව ඇසීය. මේ සාතගිර කියන යක්ඛ සෙන්පතියා ගැන ත්‍රිපිටකයේද සඳහන් වෙලා තියෙනවා. එමෙන්ම ඔහු ගැන සඳහන් ශිලා ලිපි මේ වන විට හමුවෙලා තියෙනවා. යක්ඛයින්ගෙන් බුද්ධ ශ්‍රාවකයින් වෙත පැමිණෙන හිරිහැර දැනුම්දීම සඳහා වෙසමුණි රජතුමා පත්කළ අය අතර ශත හෙවත් සාතගිරගේ නමද ඇතුළත්ව පැවති බව ත්‍රිපිටකයේ ආටානාටිය සූත්‍රයේ මෙන්න මේ වගේ දක්වලා තිබෙනවා.

සිංහල පරිවර්තනය :

“…..කවර යක්ෂ කෙනෙකුන්ට, කවර මහා යක්ෂ කෙනෙකුන්ට, කවර සෙනෙවිරත් කෙනෙකුන්ට, කවර මහ සෙනෙවිරත් කෙනෙකුන්ටද යත්?

ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය, නිඝණ්ඩුය”

පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය”

ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීඝය (යන යක්ෂ සෙනාධිපතීහුද) තවද, මොවුන් හා එක්වූ සෙරිස්සක නම් යක්ෂයෙක්ද, ඇත්තේය.”

ඒ වගේම ත්‍රිපිටකයේ බුද්ධක නිකායේ සූත්‍ර නිපාතයෙහි හේමවත සූත්‍රය දක්වලා තියෙනවා බරණැස ඉසිපතනාරාමයේදී බුදුන් සරණ ගිය සාතගිර යක්ඛ සෙනෙවි තම මිත්‍රයෙකු වුණු හේමවත යක් සෙනෙවියාට බුදුන්ගේ ගුණ සමුදාය පෙන්නලා දීලා තියෙනවා කියලා. ඒ අනුව හේමවත කියන යක් සෙනෙවියත් බුදුන් කෙරෙහි පැහැදී ඇති බවත් ඔවුන් දෙදෙනා එකතු වී බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ගල්ලෙන් පූජා කර ඇති බවත් අපට වටහා ගන්න පුළුවන්. 

එම සිදුවීම පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට ශිලා ලේඛනයක්ද මේ වෙනකොට හම්බවෙලා තියෙනවා. එම ශිලා ලේඛනය මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් රචනා කරපු Inscriptions of Ceylon නමැති කෘතියේ හයසිය හැත්ත එක්වැනි සෙල්ලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙනවා. පරුමක සාතගිරගේ සහ බත කශබච පරුමක හේමවතගේ ලෙන පැමිණි නොපැමිණි සංඝයාටයි. ඒ අනුව පැහැදිලි වෙන්නේ ශත හෙවත් සාතගිර සහ හෙම හෙවත් හේමවත දෙදෙනා එක්වෙලා ගල් ලෙනක් සංඝයාට පූජා කරලා තියෙනවා කියන කාරණය. එමෙන්ම මේ ශත හෙවත් සාතගිර වාසය කරපු ප්‍රදේශයේ දැක්වෙන සෙල්ලිපි සාක්ෂියක් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් රචනා කරපු Inscriptions of Ceylon නමැති කෘතියේ තුන්සිය තිස් එක්වැනි සෙල්ලිපි කියවීම ලෙස මෙන්න මේ වගේ සඳහන් වෙලා තියෙනවා. 

 “පරුමක මිත ක්ධය පරුමක ශත නශත ක්ධිත පරුමකලු පුශය ලෙණෙ අගත නගත චතු ශගශ

සිංහල පරිවර්තනය :

පරුමක මිත ගේ බිරිය වූ පරුමක ශතගේත් නශතගේත්  දියණිය වූ පරුමකලු පුශ ගේ ලෙන පැමිණි නොපැමිණි සිව් දිසාවේ සංඝයාට පූජා කරන ලදී.”

එය හොයාගෙන තියෙන්නේ ඒරුපතාන පෙරියකුලම කියන ප්‍රදේශයෙන්. මෙම සාක්ෂි අනුව ඒරුපොතාන ප්‍රදේශය ශත හෙවත් සාතගිර වාසය කළ ප්‍රදේශය බවද පැහැදිලි වෙනවා. 

බුද්ධ කාලයේදී හෙළයන් විසින් තමන් වාසය කළ ගල්ලෙන් බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලාට පූජා කොට පහත් බිම් කරා සංක්‍රමණය වී තිබෙනවා කියන කාරණය අපට ගවේෂණය ඔස්සේ තහවුරු කරගන්න අවස්ථාව ලැබුණා. ගල්ලෙන්වල වාසය කොට ඇති හෙළයන් තැනිතලාව වෙත සංක්‍රමණය වී ඇති බව මේ වනවිට පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබෙනවා. 

ශත හෙවත් සාතගිර වාසය කළේ යැයි සැලකෙන එවකට උතුරුකුරුවට අයත්ව තිබූ වර්තමානයේ ඒරුපොතාන ලෙස හඳුන්වන ප්‍රදේශය පිහිටිලා තියෙන්නේ ඉසිපතනාරාමය ලෙස හඳුනා ගනු ලැබූ ඉසින්බැස්සගලට ආසන්න ප්‍රදේශයක බව තහවුරු කරගත්තා. 



මෙම සාධක අනුව ද එදවස බරණැස ඉසිපතනාරාමය යනු වර්තමාන මැදවච්චිය ප්‍රදේශයේ පිහිටා ඇති ඉසින්බැස්සගල බව සහතික වෙනවා කියන කාරණය ඔබට අවබෝධ වෙනවා ඇති.

සිදත බෝසතාණන් බුදු වීමට ප්‍රථම කිරිපිඬු දානය පූජා කරපු සුජාතා සිටු දේවියගේ පුත්‍රයා තමයි යස කියලා කියන්නේ. බරණැස් නුවර වාසය කරපු යස කියන මේ සිටු පුත්‍රයා බුදුන් වහන්සේ ඉසිපතනාරාමයේ වස් කාලය ගෙවන අතරතුරදී එහි පැමිණ බණ අසා පැවිදි වෙලා තියෙනවා.

ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර අට්ටකතාහි සන්තිකේ නිධාන කතා කියන කොටසේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.

සිංහල පරිවර්තනය :

ඉක්බිති ශාස්තෲන් වහන්සේ යසකුල පුත්‍රයාගේ හේතුසම්පත් දැක රාත්‍රී කාලයෙහි නින්දෙන් පිබිදී සසර කළකිරී ගෙය හැර නික්ම එනු යසකුල පුත්‍රයා දැක, යස මෙහි එන්න යයි කැඳවා ඒ රාත්‍රී කාලයේම සෝතාපත්ති ඵලයේද, දෙවෙනි දිනයේ අරහත් ඵලයෙහිද පිහිටුවා, පසුව ඔහුගේ යහළුවන් වූ සිවු පනසක් ජනතාව ඒහිභික්‍ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කරවා, රහත් ඵලයට පැමිණවීය.

එහි සිංහල පරිවර්තනය මම ඔබට සඳහන් කරන්නම්. ඉක්බිති ශාස්තෘන් වහන්සේ යසකුල පුත්‍රයාගේ හේතු සම්පත් දැක රාත්‍රී කාලයෙහි නින්දෙන් පිබිදී සසර කලකිරී ගෙය හැර නික්ම එනු යසකුල පුත්‍රයා දැක යස මෙහි එන්න යැයි කැඳවා ඒ රාත්‍රී කාලයේම සෝතාපත්තිඵලයේද දෙවන දිනයේ අරහත් ඵලයෙහි ද පිහිටුවා. 

එම අවස්ථාව පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් විසින් සංස්කරණය කොට වර්ෂ එක්දාස් නවසිය පනස් එකේදී මුද්‍රණය කළ පූජාවලිය ග්‍රන්ථයේ වේළුවනාරාම පූජා කථාහි දෙසිය විසි දෙවන පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා.


ඉසිපතනාරාමය පිහිටිලා තිබිලා තියෙන්නේ බරණැසට ආසන්නව බව ඒ අනුව හැඟී යනවා. ඉසිපතනාරාමය කියන්නේ කළුදිය පොකුණ කියලා හිතුවොත් රාත්‍රී කාලය තුළ කැලෑබද ප්‍රදේශයක් පසුකරගෙන ඇවිල්ලා තවත් ජනපදයක පිහිටි ස්ථානයක් කරා ආවා කියලා හිතන්න අමාරුයි
. අනිත් කාරණය තමයි දුර. එපමණ දුරක්, විශේෂයෙන් කැලෑබද ප්‍රදේශයක් පසු කරලා එක් රැයක් තුළදී ගෙවා පැමිණීම අසීරු කාරණයක්. ඒ කාරණය අනුව ඉසින්බැස්සගල කියලා කියන්නේ අතීත ඉසිපතනාරාමය බව නැවත නැවතත් තහවුරු වෙනවා.

ප්‍රථම ධර්ම දේශනාවෙන් පස්සේ බිම්බිසාර රජ හමුවීමට මගධයට වැඩම කරන අතරවාරයේදී බුදුන් වහන්සේ කෝසල ජනපදය හරහා ගමන් කළ බවත්, එහි කප්පාසික වනයේදී භග්ගවද්දිය කුමාරවරුන් මුණගැසුණු බවත් දැක්වෙනවා. මෙහි කප්පාසික වනය කියලා සඳහන් කළේ කපු ගස් වලින් ගහන වූ වනාන්තරයක් කියන අදහස. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර අට්ඨ කතා හි සන්තිකේ නිදාන කතා යන කොටසේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා. 

සිංහල පරිවර්තනය :

මෙසේ ලෝකයෙහි හැටඑකක් රහතන් වහන්සේ හටගත් කල්හි, ශාස්තෲන් වහන්සේ සමාදන් වූ වස්කාලය පවාරණය කොට මහණෙනි, චාරිකාවේ හැසිරෙව්!යනුවෙන් හැටක් භික්‍ෂූන් දිශාවලට පිටත්කර යවා තෙමේ, උරුවෙලාවට වැඩම කරන්නේ අතරමග කප්පාසිකවන ලැහැබෙහි (කපු වනයෙහි) භද්ද වග්ගිය කුමාරවරු තිස්දෙනෙකු හික්මවාලූ සේක. ඔවුන් අතර සියල්ලට ලාබාල වූ කුමරා සෝවාන් ඵලයේද සියල්ලට වැඩිහිටි කුමරා අනාගාමීද විය. ඒ සියළු දෙනාම ඒහිභික්‍ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කරවා, දිසා දිසාවන්හි පිටත්කර යවා තමන්වහන්සේ උරුවෙලාවට වැඩ තුන්දහස් පන්සියයක් ප්‍රාතිහාර්ය දක්වා ජටිලයන් දහසක් පිරිවරකොට ඇති උරුවෙල කස්සප ආදි තුන්බෑ ජටිලයන් පිරිවර සහිතව පහදවා ජටිලයන් දමනය කොට, ඒහිභික්‍ෂු භාවයෙන් පැවිදිකරවා ගයා ශීර්ෂයෙහි වැඩහිඳුවා ආදිත්ත පරියායදේශනාවෙන් රහත්ඵලයේ පිහිටුවා, ඒ දහසක් රහතන් වහන්සේ විසින් පිරිවරන ලදුව බිම්බිසාර රජුට දෙනලද ප්‍රතිඥාව මුදවන්නෙමියි රජගහනුවර ඇසුරුකොට (වැල්මී) උයනට වැඩි සේක.

එහි අවශ්‍ය තැන් උපුටා අරගෙන නම් ඔබට සඳහන් කරන්නම්. අතරමග ‘කප්පාසික’ වන ලැහැබෙහි (කපු වනයෙහි) භද්ද වග්ගිය කුමාරවරු තිස්දෙනෙකු හික්මවාලූ සේක. 

පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් විසින් සංස්කරණය කොට මුද්‍රණය කළ පූජාවලිය ග්‍රන්ථයේ වේළුවනාරාම පූජා කතා හි දෙසිය විසි හතරවන පිටුවේ මෙන්න මේ වගේ එම කාරණයම දැක්වෙනවා.



මෙම අවස්ථාවම චන්ද්‍රදාස කහඳවාරච්චි මහතා විසින් සම්පාදනය කරන ලද සිංහල දීපවංශය නමැති කෘතියේ තිස් හයවන පිටුවේ කෙටියෙන් මෙන්න මේ වගේ දැක්වෙනවා.



ඉසිපතනයේදී වස් පාවරණය කළ බුදු හිමියෝ කප්පාසික වනයට වැඩියහ. උන්වහන්සේට භග්ගවග්ගිය කුමාරවරුන් තිස්දෙනා හමුවූයේ එහිදීය කියලා. ඒ අනුව කෝසල ජනපදයේ පිහිටා තිබූ කප්පාසික වනය කාශි සහ මගධ ජනපද දෙක යා කරන මාර්ගයේ පිහිටා තිබිය යුතු බව ඔබට වැටහෙනව ඇති. ඒ අනුව ගත්විට දැනට බරණැස් නුවර ඉසිපතනාරාමය ලෙස තහවුරු කරගත්තු මැදවච්චිය ඉසින්බැස්සගලත් මගධයේ රජගහනුවර ලෙස තහවුරු කර ගත්ත දඹුල්ල ප්‍රදේශයත් අතර කෝසල ජනපදයේ පිහිටි කප්පාසික වනය පිහිටා තිබිය යුතු බව පැහැදිලි වෙනවා. දැනට සිදුකරපු ගවේෂණයේ ප්‍රතිඵල අනුව කෝසල ජනපදය කැකිරාව ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ දක්වා වූ භූමි ප්‍රමාණයක පැතිර තිබූ බවට තහවුරු වුණා. කෝසල ජනපදයේ ශ්‍රාවස්ති නුවරත්, ඒ නුවර පිහිටා තිබූ ජේතවනාරාමයත්, පූර්වාරාමයත්, ආනන්ද බෝධියත් මේ වනවිට හඳුනාගෙන ඇති නිසා කෝසල ජනපදයේ පිහිටීම වඩාත් තහවුරු වෙනවා. අපි ජේතවනාරාමය, ආනන්ද බෝධිය සහ පූර්වාරාමය පිළිබඳ මහාවංශයේ දක්වා ඇති පරිච්ඡේදවලදී. ඒ සම්බන්ධව වැඩි විස්තර දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම කෝසල ජනපදය, මැදවච්චිය සහ දඹුල්ල අතරමැදි කලාපයේ පිහිටා ඇති නිසා අප ඉසිපතනාරාමය ලෙස සොයාගත් ස්ථානය නිවැරදි බවට ඒ අනුව ද තහවුරු වෙනවා. බුදුන් වහන්සේ කළුදිය පොකුණේ සිට උරුවේලාවට වැඩම කළා නම්, කෝසල ජනපදයේ කප්පාසික වනය හම්බවෙන්නේ නැහැ. මේ කප්පාසික වනයේදී හම්බවුණු භග්ගවග්ගිය කුමාරවරුන් තිස් දෙනෙක් සෝවාන් කිරීමෙන් අනතුරුව ජටිල දමනය සඳහා නැවත උරුවේලාවට වැඩම කරලා එහි වාසය කරපු බව කිරම විමලජෝති ස්ථවිර විසින් සංස්කරණය කොට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මහාවංශය නමැති ග්‍රන්ථයේ පළමුවැනි පරිච්ඡේදයේ දෙවැනි පිටුවේ මෙන්න මේ වගේ සඳහන් වෙනවා. මහාවංශයේ ඊළඟට සඳහන් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ ප්‍රථම වරට ලංකා ද්වීපයට වැඩම කිරීම සම්බන්ධ වූ විස්තරයක්. අපි ඊළඟ කොටසින් ඒ ගැන කතා කරමු.


නවතම ලිපි

දඹදිව පිහිටා තිබූ ප්‍රදේශය පිළිබඳ ලැබුණු පුරාවිද්‍යා සාක්ෂි

  පළමුවන සාක් ‍ ෂිය දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්...

ප්‍රචලිත ලිපි